ඇතුල් පි‍ටු

Monday 18 October 2010

රස පලතුරක්

එක දවසක් අපි කට්ටියම එක්ක වරකපොල පැත්තෙ ඉන්න අපෙ තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා.  එහෙ මිදුලෙ තියනව කහපාටින් ගෙඩි පිරිච්ච ගහක්.  ඉතින් මම අපෙ අම්මගෙන් ඇහුව "මොනවද අම්මෙ අර ගෙඩි ජාතිය" කියලා.  එතකොට අම්ම කිව්ව "ඒ පලතුරක් පුදුම රසක් තියෙන්නෙ කාල බලන්නකො" කියල.  ඒ ගහ ටිකක් උසයි.  ඒක නිසා කඩන්න කෙක්කක් ඕනි.  දිග කෙක්කක් හොයා ගන්න තිබුනෙ නෑ.  ඉතින් පොඩි පොඩි ලී කෑලි ගොඩක් ඇරගෙන ලනු වලින් ඔතල බොහොම අමාරුවෙන් කෙක්කක් හදා ගත්තා.  ගහේ පාතම තියන ගෙඩිය කඩා ගන්නවත් ඒක උස නෑ.  ඉතිං අක්ක මාව වඩාගෙන "දැන් කඩන්න" කියල කිව්වා.  ඊට පස්සෙ කඩා ගන්න පුලුවන් වුණා.  බොහොම අමාරුවෙන් එක ගෙඩියක් කඩාගෙන හෝදල දෙකට කපල දෙන්නම ලොකු කෑල්ලක් කෑව කටේ තියන්න බෑ. තිත්තම තිත්තයි.  ඊට පස්සෙ මමයි , අක්කයි ගිහින් අම්මට කිව්ව "මොන රසක්ද අම්මෙ තිත්තම තිත්තයිනෙ" කියල.  ඒ පාර එහෙ නැන්දටයි , අපෙ අම්මටයි හරිම හිනා. ඊට පස්සෙ හිනා වෙවීම කියනවා. " ඒ පලතුරක් නෙමෙයි.  ඒ බෙහෙත් වලට ගන්න ගෙඩි ජාතියක් ලස්සනට පේන්න තිබුනට කටේ තියන්නවත් බෑ.  මම විහිහුවට කිව්වෙ ඔය දෙන්නව රවට්ටන්න.  ඒ ගෙඩි වල නම සාදික්ක" කියල කිව්ව.  ඒකාලෙ මමවත් , අක්කවත් සාදික්ක කියන නම අහලවත් සාදික්ක ගෙඩි දැකලවත් තිබුනෙ නෑ.

Sunday 3 October 2010

මහ රෑ 12 ට කෝල් එකක්.

රෑ වෙලා අපි ගෙදර කට්ටියත් එක්ක orphan කියල හොල්මං චිත්‍රපටියක් බලන්න පටන් ගත්ත.  ඒක හොල්මං වලත් හොඳම එක.  ගොඩක් බය හිතෙනවා.  දැන් චිත්‍රපටියෙ බාගයක් විතර ගිහිල්ල.  එක පාරටම කෝල් එකක් ආව.  මම වෙලාව බැලුව හරියට රෑ 12 . 00.  මගෙ තිබ්බ බය තවත් වැඩි වුණා.  තාත්ත ගිහිල්ලා ෆෝන් එක ගත්ත.  දෙ තුන් සැරයක් හෙලෝ හෙලෝකියල ෆෝන් එක තිබ්බා.  තාත්ත ඇවිල්ල කිව්ව '' මුකුත් කියන්නෑ'' කියල ඇවිල්ල ආයෙත් චිත්‍රපටිය බලන්න පටන් ගත්ත. ටික වෙලාවක් ගියාට පස්සෙ මෙන්න ආයෙත් කෝල් එකක් එනව මම වෙලාව බැලුව හරියටම 1. 00.  තාත්ත ආයෙත් ගිහින් ෆෝන් එක ඉස්සුවා.  මෙන්න තාත්ත හිනා වෙනව අපි ඇහුව මොකද කියලා.  තාත්ත කිව්ව "ඒ මිනිහ මොනවද ටිකක් කියාගෙන ගියා මට තේරුනේ නෑ'' කියල.  ඊට පස්සෙ අපි චිත්‍රපටිය බලල ඉවරවෙලා නිදාගතා.