ඇතුල් පි‍ටු

Monday, 18 October 2010

රස පලතුරක්

එක දවසක් අපි කට්ටියම එක්ක වරකපොල පැත්තෙ ඉන්න අපෙ තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා.  එහෙ මිදුලෙ තියනව කහපාටින් ගෙඩි පිරිච්ච ගහක්.  ඉතින් මම අපෙ අම්මගෙන් ඇහුව "මොනවද අම්මෙ අර ගෙඩි ජාතිය" කියලා.  එතකොට අම්ම කිව්ව "ඒ පලතුරක් පුදුම රසක් තියෙන්නෙ කාල බලන්නකො" කියල.  ඒ ගහ ටිකක් උසයි.  ඒක නිසා කඩන්න කෙක්කක් ඕනි.  දිග කෙක්කක් හොයා ගන්න තිබුනෙ නෑ.  ඉතින් පොඩි පොඩි ලී කෑලි ගොඩක් ඇරගෙන ලනු වලින් ඔතල බොහොම අමාරුවෙන් කෙක්කක් හදා ගත්තා.  ගහේ පාතම තියන ගෙඩිය කඩා ගන්නවත් ඒක උස නෑ.  ඉතිං අක්ක මාව වඩාගෙන "දැන් කඩන්න" කියල කිව්වා.  ඊට පස්සෙ කඩා ගන්න පුලුවන් වුණා.  බොහොම අමාරුවෙන් එක ගෙඩියක් කඩාගෙන හෝදල දෙකට කපල දෙන්නම ලොකු කෑල්ලක් කෑව කටේ තියන්න බෑ. තිත්තම තිත්තයි.  ඊට පස්සෙ මමයි , අක්කයි ගිහින් අම්මට කිව්ව "මොන රසක්ද අම්මෙ තිත්තම තිත්තයිනෙ" කියල.  ඒ පාර එහෙ නැන්දටයි , අපෙ අම්මටයි හරිම හිනා. ඊට පස්සෙ හිනා වෙවීම කියනවා. " ඒ පලතුරක් නෙමෙයි.  ඒ බෙහෙත් වලට ගන්න ගෙඩි ජාතියක් ලස්සනට පේන්න තිබුනට කටේ තියන්නවත් බෑ.  මම විහිහුවට කිව්වෙ ඔය දෙන්නව රවට්ටන්න.  ඒ ගෙඩි වල නම සාදික්ක" කියල කිව්ව.  ඒකාලෙ මමවත් , අක්කවත් සාදික්ක කියන නම අහලවත් සාදික්ක ගෙඩි දැකලවත් තිබුනෙ නෑ.

Sunday, 3 October 2010

මහ රෑ 12 ට කෝල් එකක්.

රෑ වෙලා අපි ගෙදර කට්ටියත් එක්ක orphan කියල හොල්මං චිත්‍රපටියක් බලන්න පටන් ගත්ත.  ඒක හොල්මං වලත් හොඳම එක.  ගොඩක් බය හිතෙනවා.  දැන් චිත්‍රපටියෙ බාගයක් විතර ගිහිල්ල.  එක පාරටම කෝල් එකක් ආව.  මම වෙලාව බැලුව හරියට රෑ 12 . 00.  මගෙ තිබ්බ බය තවත් වැඩි වුණා.  තාත්ත ගිහිල්ලා ෆෝන් එක ගත්ත.  දෙ තුන් සැරයක් හෙලෝ හෙලෝකියල ෆෝන් එක තිබ්බා.  තාත්ත ඇවිල්ල කිව්ව '' මුකුත් කියන්නෑ'' කියල ඇවිල්ල ආයෙත් චිත්‍රපටිය බලන්න පටන් ගත්ත. ටික වෙලාවක් ගියාට පස්සෙ මෙන්න ආයෙත් කෝල් එකක් එනව මම වෙලාව බැලුව හරියටම 1. 00.  තාත්ත ආයෙත් ගිහින් ෆෝන් එක ඉස්සුවා.  මෙන්න තාත්ත හිනා වෙනව අපි ඇහුව මොකද කියලා.  තාත්ත කිව්ව "ඒ මිනිහ මොනවද ටිකක් කියාගෙන ගියා මට තේරුනේ නෑ'' කියල.  ඊට පස්සෙ අපි චිත්‍රපටිය බලල ඉවරවෙලා නිදාගතා.

Monday, 20 September 2010

නංගි ගැන යමක්....

මට පූසෙක් විතරක් නෙමෙයි.  චූටි හුරතල් නංගි කෙනෙකුත් ඉන්නවා.  එයාගේ නම රශ්මි තාරකා.  එයා හරිම ඳඟයි.  විනාඩි 5ක් එක විදිහට ඉන්න බෑ.  ඇවිල්ල ඇනල හරි යනවා.  එයා හැමතිස්සෙම කියන කවියක් තියනවා.  ඒ තමයි මේ,

අක්කගෙ ගව්මක් අඳලා අක්ක බනීද ?
අයියගෙ පොත් ටික ඇදලා අයිය බනීද ?
වත්තේ මල් ටික කඩලා අම්ම බනීද ?
දැන් තාත්ත එන වෙලාව බේර ගනීද ?



එක දවසක් නංගි අක්කගෙ ගව්මක් ඇඳගෙන කැරකි කැරකි ඉන්නකොට මට ඔය කවිය මතක් වුණා.  ඒ පාර තමයි මම ඔය photo එක ගත්තේ.

Friday, 3 September 2010

කල කල දේ පල පල දේ

ගිය සතියෙ දවසක අපි අම්මගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා.  එහෙ අයියට නියමෙට සරුංගල් හදන්න පුළුවන්.  එයා සරුංගලයක් හදල ඒක හොඳද බලන්න වෙලට යන කොට  දැක්කා වෙන නිල් පාට සරුංගලයක් අහසෙ පාවෙනවා.  මෙයා ටග් ගාලා සරුංගලේ බාලා "දුවල යං මල්ලි ගෙදර" කියලා මාවත් ඇද ගෙන ගෙදර ගියා.  ඊට පස්සෙ වෙන නුලකින් පොඩි සරුංගලයක් ඇරගෙන  අහසට යැව්වා.  මම ඇහුවා එයාගෙන් ''මොකක්ද කරන්න හදන්නෙ'' කියලා.  එයා කිව්වා නිල් පාට සරුංගලේ කඩන්න කියලා.  මං ඇහුවා ''කොහොමද කඩන්නෙ'' කියලා. එයා කිව්වා ''පොඩි නූල අනිත් නූලෙ ගෑවුනහම සරුංගලය කැඩිල යනව''.  ඒ සරුංගලේ කඩන්න තමයි දැන් හදන්නෙ කියල කිව්ව.  ඊට විනාඩි දෙකක් ගියෙ නෑ.  එයාගෙ සරුංගලේ නූල අත ළඟින්ම කැඩිල ගියා.  මටයි , අක්කටයි හරිම හිනා.  එයාට එවෙලෙ තේරෙන්න අති අනුන්ට වරද්දවන්න ගියොත් තමන්ටමයි වරදින්නෙ කියලා.

Friday, 13 August 2010

බාලදක්ෂ සවාරිය

මට ඔයාලට කියන්න බැරි වුනානේ.  මම බාලදක්ෂයෙක්නේ.  සෑම අවුරුද්දකම ලෝකෙ පුරා සිටින සෑම බාලදක්ෂයෙක්ටම තියනවා වැඩ සතියක්.  ඒ සතිය පුරාම තියෙන්නෙ තැන් තැන් වල ඇවිදලා ගෙවල්වලට ගිහිල්ල වැඩ කරන්න.  එහෙම කරහම එගොල්ලො අපට ආධාරයකුත් කරනව.  අපේ ඉස්කෝලෙත් කණ්ඩායම් 5 ක් හිටියා.  අපේ කණ්ඩායමට යන්න තිබුණේ කලවානට.  ඒස්කෝලෙ ඉඳල 22 km විතර දුරක් තියෙන්නේ.  ඉස්සෙල්ලාම අපි බස් එකේ කලවානට ගියා.  ඊට පස්සෙ එහෙ ඉදල පයින් එන්න පටන් ගත්තා.  තියන හැම අතුරු පාරකම ඇවිදල කට්ටියටම මහන්සියි , බඩගිනියි.  ඔන්න පාර අයිනෙ තියන මඩුවකට වෙලා කෑම කන්න පටන් ගත්ත.  බලන කොට බත් මුල් 3 යි තියෙන්නෙ ළමයි 7 දෙනෙක් ඉන්නවා.  මදිනෙ.  ඉතින් බාගෙට කාල ආයෙත් යන්න පටන් ගත්තා.  ඔහොම යනකොට මම තව දෙන්නෙක් එක්ක ගෙදරකට ගියා.  ඒ ගේ ඉස්සරහ හිටිය හිටියා බල්ලෙක්.  අපි ගනන්ගන්නේ නතුව ගියා.  මෙන්න ගේ ඇතුලෙ ඉදන් තව බල්ලො දෙන්නෙක් බුරාගෙන ඇවිල්ල බල්ලො තුන්දෙනාම මගෙ ඇඟට පැන්නනේ එකෙක්මගෙ කකුල කෑව මම කෑගහල බල්ලට පයින් ගහල පිටිපස්සට ආව ඊට පස්සෙ බල්ලොගෙට ගියා.  ඒ ගෙදර ගෑනුකෙනා ඇවිල්ල බල්ලව හුරතල් කරනවා මිසක් අපි ගැන ඇහුවෙවත් නෑ. වේදනාව තිබුනට ලොකු තුවාලයක් නොතිබුණ නිසා ආයෙත් ගමන පටන්ගත්තා.  අමාරුවෙන් හරි ඉතුරු ටිකත් පයින් ගිහින් ගෙදර ආවා.  එනකොට හොඳටම රෑවෙලා.  අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා.

Wednesday, 4 August 2010

වැදගත් සත්තු

ලෝකෙ වැදගත් කට්ටිය කියල කිවුවහම මිනිස්සු විතරක් ගන්න බැහැනේ.  සත්තුත් අයිතියි.  උදාහරණයක් හැටියට  ගමු සිංහයා.  බලන්න ඌ ඇවිදින විදිහ.  උගෙ පෙනුම.  හරියට රජෙක් වගේ.  ඒත් සත්තුන්ගේ වැදගත්කම ගැන මගේ සුරතල් පූසා සම්බන්ධ කරගෙන පෙන්වන්න මම කැමතියි.





බලන්න. ඌ වතුර බොන්නෙත් ටැප් එකෙන්.

Monday, 2 August 2010

කිරිපැංචා නැවතත්...

ගොඩක් කාලෙකින් blog එකට ඇවිල්ල ලිපියක් දාල යන්න බැරි වුණේ ටික කාලයක් ඉන්ටනෙට් එක නැති වුණ නිසයි. ඒ නවත්තපු සැරේ නැවතිලාම ගියා. දැන් නිවාඩු කාලෙත් ළඟයිනේ.  ඒ හින්ද නවතින්නෙ නැතුව ලියන්න මම බලාපොරොත්තු වෙනවා.  මගෙ blog එක කියවපු කීප දෙනෙක්ම ඉල්ලීමක් කරල තිබුණ මට ආයෙත් ලියන්න කියලා ඒ අයට බොහොම ස්තූතියි...

Thursday, 21 January 2010

අපේ ගෙදරට නයෙක් ඇවිත්

 Cobra 3ටික කාලෙකට පස්සෙ අපෙ අක්ක ගෙදර ආවා. ඇවිල්ල දවස් දෙක තුනකට පස්සෙ දවසක් අම්මයි තාත්තයි ගමනක් ගියා. මමයි, අක්කයි, නංගියි විතරක් ගෙදර තියලා. මමයි නංගියි කාමරේ ඉඳගෙන කම්පියුටරේ ‍ෆිල්ම් එකක් බලනවා. අක්ක කෑම කකා ගිහින් දොර ළඟ පු‍ටුවක ඉඳ ගත්තලු. ඉඳගෙන ටිකක් ඉස්සරහ තියන ස්ටූල් එක දිහා බලනකොට අක්ක ගල් ගැහුනලු. ස්ටූල් එක උඩ නයෙක් ඉන්නවා දරනෙ ගහගෙන පෙනේ පුප්පගෙන. අක්ක හෙල්ලෙන්නෙවත් නැතුව අපිට කිව්ව "මල්ලී,නංගී කාමරෙන් එළියට එන්න එපා කියලා."  මම අක්කගෙන් ඇහුවා. "ඇයි එන්න එපා කිව්වේ" කියලා. අක්ක කිව්වා. "නයෙක් නයෙක්" කියලා.

Cobra 1මම නංගිට කාමරේට වෙලා ඉන්න කියලා හෙමින් සැරේ පිටිපස්සෙ දොරෙන් ගිහින් එහා පැත්තෙ ගෙදර මාමව අඬගහගෙන ආව. මම එන කොට අක්කයි නංගියි මේසෙ උඩ නැගලා. මාම කොස්සක් ඇරගෙන ගිහින් ස්ටූල් එකට තට්‍ටුවක් දැම්මා. නයා මාමට පුස් ගාල පිම්බ. මාම පිටිපස්සට පැනල ඇවිල්ල අපිට කිව්ව " මිරිස් පුච්චමු " කියලා. අපිත් හා කියල මිරිස් පිච්චුවා. ඌ ස්ටූල් එකෙන් බැහැල දොර මුල්ලට ගියා.

Cobra 2

ඵ් වැඩෙත් හරි ගියෙ නෑ ඊට පස්සෙ සුදු ලූණු දැම්ම. ඵ්ත් එහෙම්මමයි. ඊට පස්සෙ මම කැමරාව අරගෙන ගිහින් හෙමින් සැරේ ෆොටෝ ගත්තා. තව ටිකක් වෙලා ගියාට පස්සෙ ඌ පෙනේ ඇකිලුවා. අපි ඌ දිහා බලාගෙන ඉන්නව. ඌ අපි දිහා බලාගෙන ඉන්නව. ඊට පස්සෙ තාත්තල ආව. තාත්ත ආවෙම පොල්ලක් අරගෙන. ඇවිල්ල  ගැහුව පොල්ලෙන් නයාගෙ ඔලුවටම එකක්. නයාට එතනම බඩු. මරල පිච්චුවා. ඊට පස්සෙ අපේ තාත්ත කියනව "පවු අහිංසක සතා, අපරාදෙ මැරුවෙ. ඵ්ත් ඉතිං මොනව කරන්නද මගෙ ළමයි තුන් දෙනා නයාට වැඩිය වටිනවනෙ" කියලා.

Cobra 4

Sunday, 10 January 2010

අලුත් අවුරුද්දේ වෙච්ච දෙයක්

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඒත් අලුත් අවුරුද්ද පහුවෙලා දවස් තුනක් යන්න ඉස්සෙල්ලා අපේ ඉස්කෝලෙ අයියලා දෙන්නෙක් ගුටි කෑවා.ඒ ඇයි කියනව නම්. අපේ හෝල් එකට ඉස්සරහ තියන වෙරළු ගහේ වෙරළු කඩන්න පොලු ගහලා. ඵ් ගහේ අතු නැමිල තියෙන්නෙ අපි අතුගාන බිම් කෑල්ලට.ඉතිං පොලු ගහනකොට කොල ටික වැටෙන්නෙ බිමට.ඵ් හින්ද අපි අයියලට කිවුව "අයියෙ ගහට පොලු ගහන්න එපා බිමට කොල වැටෙනවනෙ අපිනෙ අතුගාන්නෙ." කියල. ඵ් දෙන්න අපිට සද්ද දාල තව හයියෙන් පොලු ගහුවා. අපි ගිහිල්ල සර් කෙනෙකුට කිවුවා.සර් ඇවිල්ල දෙන්නව අල්ලගෙන අලුත් අවුරුද්දේ ගහන්ඩ බැරි හින්දා දෙන්න ලවුව මුලු ඉස්කෝලෙම අතුගෑවුව.

Thursday, 24 December 2009

ගස්ලබු කපන්නේ මොකටද ?

මම පුංචිකාලෙ කරපු හොඳ බූරු වැඩ ටිකක් තියනව කියන්න. ඒ බූරු වැඩ වලින් එකක් තමයි මේ.එක දවසක් අම්මා ගස්ලබු කපද්දී මම ඒදිහා බලාගෙන ඉඳල අම්මගෙන් ඇහුවලු ''මොකටද අම්මේ ගස්ලබු කපන්නේ" කියල. ඉතින් අම්ම විහිලුවට වගේ කිව්වලු ගස්ලබු කපන්නෙ වීසිකරන්න කියල. එහෙම කියල අම්ම පිහිය හෝදගෙන එන අතරට මම ගොනා වගේ ගිහින් ඒ ගස්ලබු ටික බැම්මෙන් පල්ලට විසිකරලලු. ඊට පස්සේ අම්ම ඇවිල්ල මගෙන් ඇහුවලු ''කොහෙද පුතේ ගස්ලබු ටික?'' කියල. ඉතිං මම කිව්වලු "ඇයි අම්ම කිව්වෙ ගස්ලබු ටික කැපුවේ විසිකරන්න කියල. ඉතිං මම විසිකරා" කියල කිව්වලු. ඉතිං අම්ම මට ''බූරු කොල්ල'' කියල බැන්නලු. ඔය කතාව ඇත්තද බොරුද කියල දන්නෙ නෑ ඒත් අම්ම මට බොරු කියන්නෙ නෑ කියල මම දන්නවා.

Monday, 21 December 2009

සැන්දෑවේ අසිරිය

අපේ ඉස්කෝලෙ කවි නිර්මාණ තරඟයක් තිබුනා.  මටත් හිතුන නිකමට වගේ ඒකට කවියක් ඉදිරිපත් කරන්න.  මම ලියපු කවි නිර්මාණයට සහතිකයකුයි තෑගියි හම්බ වුණා. 

හිරු කුමරා කඳු අතරින් හෙමින්                    බහිනවා
කුඹුරෙ ඉන්න කොක්කු රෑන්                  ඉගිලී යනවා
ඈතින් එන මද සුලඟින් ගත                  සැනසෙනවා
රාස්සිගේ අව්ව වැටී ගම                          දිලිසෙනවා

බකමූනන්ගේ නාදය කණට                      ඇහෙනවා
සෙල්ලම් කළ පුංචි ළමයි ගෙදරට                   යනවා
මුහුදු යන්න ධීවරයින් වෙරළට                        එනවා
අපේ ගමේ හැම ගෙදරම එළි දිස්                  වෙනවා

Sunday, 20 September 2009

සපත්තු කුට්ට්ටම

අද නම් මට අපල දවසක්. සපත්තු දෙක හෝදල අව්වෙන් තිබ්බා වේලෙන්න කියල. තියල ටික වෙලවකින් වැස්සක් ආව මම දන්නෙවත්නෑ.වැස්ස වැහැල ටික වෙලවකින් තමයි සපත්තු මතක් වුනේ. ඊට පස්සෙ දුවල ගිහින් අරගත්තට පස්සෙ තමයි තේරුණේ සපත්තු දෙක හොඳටම තෙමිලා බව. හොඳ වෙලාවට අම්මගෙන් බැනුම් නොඅහ බේරුණා...

කිරි පැංචාගේ පළමු වදන් පෙළ...

තාත්තා බ්ලොග් එකක් කරනවා දැකල මටත් හිතුනා මගේම කියල බ්ලොග් එකක් හදා ගන්න.  තාත්තගෙන් අහගෙන තමයි මේක හදා ගත්තෙ.

මගේ ඉස්කෝලෙට නම රවීන්. මම මේකට කිරි පැංචාගේ ලෝකය කියල නම දැම්මේ අම්මයි තාත්තයි මම පොඩි කාලෙ හුරතලේට කිරි පැංචා කියපු නිසා.  අනික මටම කියලා වෙනම ලෝකයක් තියෙන්න ඕනනේ...  මට දැන් වයස අවුරුදු 13 යි.  මම ඉන්නෙ 7 වසරෙ.  මම හිතාගෙන ඉන්නෙ මගෙ බ්ලොග් එක දිගටම හොඳට කර ගෙන යන්න.  ඔයාල පුලුවන් වෙලාවට මගෙ බ්ලොග් එක කියවන්න එන්න.  ඇවිත් අඩු පාඩු හෙම තියනවා නම් කියා දෙන්න...