ඇතුල් පි‍ටු

Thursday 24 December 2009

ගස්ලබු කපන්නේ මොකටද ?

මම පුංචිකාලෙ කරපු හොඳ බූරු වැඩ ටිකක් තියනව කියන්න. ඒ බූරු වැඩ වලින් එකක් තමයි මේ.එක දවසක් අම්මා ගස්ලබු කපද්දී මම ඒදිහා බලාගෙන ඉඳල අම්මගෙන් ඇහුවලු ''මොකටද අම්මේ ගස්ලබු කපන්නේ" කියල. ඉතින් අම්ම විහිලුවට වගේ කිව්වලු ගස්ලබු කපන්නෙ වීසිකරන්න කියල. එහෙම කියල අම්ම පිහිය හෝදගෙන එන අතරට මම ගොනා වගේ ගිහින් ඒ ගස්ලබු ටික බැම්මෙන් පල්ලට විසිකරලලු. ඊට පස්සේ අම්ම ඇවිල්ල මගෙන් ඇහුවලු ''කොහෙද පුතේ ගස්ලබු ටික?'' කියල. ඉතිං මම කිව්වලු "ඇයි අම්ම කිව්වෙ ගස්ලබු ටික කැපුවේ විසිකරන්න කියල. ඉතිං මම විසිකරා" කියල කිව්වලු. ඉතිං අම්ම මට ''බූරු කොල්ල'' කියල බැන්නලු. ඔය කතාව ඇත්තද බොරුද කියල දන්නෙ නෑ ඒත් අම්ම මට බොරු කියන්නෙ නෑ කියල මම දන්නවා.

Monday 21 December 2009

සැන්දෑවේ අසිරිය

අපේ ඉස්කෝලෙ කවි නිර්මාණ තරඟයක් තිබුනා.  මටත් හිතුන නිකමට වගේ ඒකට කවියක් ඉදිරිපත් කරන්න.  මම ලියපු කවි නිර්මාණයට සහතිකයකුයි තෑගියි හම්බ වුණා. 

හිරු කුමරා කඳු අතරින් හෙමින්                    බහිනවා
කුඹුරෙ ඉන්න කොක්කු රෑන්                  ඉගිලී යනවා
ඈතින් එන මද සුලඟින් ගත                  සැනසෙනවා
රාස්සිගේ අව්ව වැටී ගම                          දිලිසෙනවා

බකමූනන්ගේ නාදය කණට                      ඇහෙනවා
සෙල්ලම් කළ පුංචි ළමයි ගෙදරට                   යනවා
මුහුදු යන්න ධීවරයින් වෙරළට                        එනවා
අපේ ගමේ හැම ගෙදරම එළි දිස්                  වෙනවා

Sunday 20 September 2009

සපත්තු කුට්ට්ටම

අද නම් මට අපල දවසක්. සපත්තු දෙක හෝදල අව්වෙන් තිබ්බා වේලෙන්න කියල. තියල ටික වෙලවකින් වැස්සක් ආව මම දන්නෙවත්නෑ.වැස්ස වැහැල ටික වෙලවකින් තමයි සපත්තු මතක් වුනේ. ඊට පස්සෙ දුවල ගිහින් අරගත්තට පස්සෙ තමයි තේරුණේ සපත්තු දෙක හොඳටම තෙමිලා බව. හොඳ වෙලාවට අම්මගෙන් බැනුම් නොඅහ බේරුණා...

කිරි පැංචාගේ පළමු වදන් පෙළ...

තාත්තා බ්ලොග් එකක් කරනවා දැකල මටත් හිතුනා මගේම කියල බ්ලොග් එකක් හදා ගන්න.  තාත්තගෙන් අහගෙන තමයි මේක හදා ගත්තෙ.

මගේ ඉස්කෝලෙට නම රවීන්. මම මේකට කිරි පැංචාගේ ලෝකය කියල නම දැම්මේ අම්මයි තාත්තයි මම පොඩි කාලෙ හුරතලේට කිරි පැංචා කියපු නිසා.  අනික මටම කියලා වෙනම ලෝකයක් තියෙන්න ඕනනේ...  මට දැන් වයස අවුරුදු 13 යි.  මම ඉන්නෙ 7 වසරෙ.  මම හිතාගෙන ඉන්නෙ මගෙ බ්ලොග් එක දිගටම හොඳට කර ගෙන යන්න.  ඔයාල පුලුවන් වෙලාවට මගෙ බ්ලොග් එක කියවන්න එන්න.  ඇවිත් අඩු පාඩු හෙම තියනවා නම් කියා දෙන්න...