ඇතුල් පි‍ටු

Monday 18 October 2010

රස පලතුරක්

එක දවසක් අපි කට්ටියම එක්ක වරකපොල පැත්තෙ ඉන්න අපෙ තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා.  එහෙ මිදුලෙ තියනව කහපාටින් ගෙඩි පිරිච්ච ගහක්.  ඉතින් මම අපෙ අම්මගෙන් ඇහුව "මොනවද අම්මෙ අර ගෙඩි ජාතිය" කියලා.  එතකොට අම්ම කිව්ව "ඒ පලතුරක් පුදුම රසක් තියෙන්නෙ කාල බලන්නකො" කියල.  ඒ ගහ ටිකක් උසයි.  ඒක නිසා කඩන්න කෙක්කක් ඕනි.  දිග කෙක්කක් හොයා ගන්න තිබුනෙ නෑ.  ඉතින් පොඩි පොඩි ලී කෑලි ගොඩක් ඇරගෙන ලනු වලින් ඔතල බොහොම අමාරුවෙන් කෙක්කක් හදා ගත්තා.  ගහේ පාතම තියන ගෙඩිය කඩා ගන්නවත් ඒක උස නෑ.  ඉතිං අක්ක මාව වඩාගෙන "දැන් කඩන්න" කියල කිව්වා.  ඊට පස්සෙ කඩා ගන්න පුලුවන් වුණා.  බොහොම අමාරුවෙන් එක ගෙඩියක් කඩාගෙන හෝදල දෙකට කපල දෙන්නම ලොකු කෑල්ලක් කෑව කටේ තියන්න බෑ. තිත්තම තිත්තයි.  ඊට පස්සෙ මමයි , අක්කයි ගිහින් අම්මට කිව්ව "මොන රසක්ද අම්මෙ තිත්තම තිත්තයිනෙ" කියල.  ඒ පාර එහෙ නැන්දටයි , අපෙ අම්මටයි හරිම හිනා. ඊට පස්සෙ හිනා වෙවීම කියනවා. " ඒ පලතුරක් නෙමෙයි.  ඒ බෙහෙත් වලට ගන්න ගෙඩි ජාතියක් ලස්සනට පේන්න තිබුනට කටේ තියන්නවත් බෑ.  මම විහිහුවට කිව්වෙ ඔය දෙන්නව රවට්ටන්න.  ඒ ගෙඩි වල නම සාදික්ක" කියල කිව්ව.  ඒකාලෙ මමවත් , අක්කවත් සාදික්ක කියන නම අහලවත් සාදික්ක ගෙඩි දැකලවත් තිබුනෙ නෑ.

Sunday 3 October 2010

මහ රෑ 12 ට කෝල් එකක්.

රෑ වෙලා අපි ගෙදර කට්ටියත් එක්ක orphan කියල හොල්මං චිත්‍රපටියක් බලන්න පටන් ගත්ත.  ඒක හොල්මං වලත් හොඳම එක.  ගොඩක් බය හිතෙනවා.  දැන් චිත්‍රපටියෙ බාගයක් විතර ගිහිල්ල.  එක පාරටම කෝල් එකක් ආව.  මම වෙලාව බැලුව හරියට රෑ 12 . 00.  මගෙ තිබ්බ බය තවත් වැඩි වුණා.  තාත්ත ගිහිල්ලා ෆෝන් එක ගත්ත.  දෙ තුන් සැරයක් හෙලෝ හෙලෝකියල ෆෝන් එක තිබ්බා.  තාත්ත ඇවිල්ල කිව්ව '' මුකුත් කියන්නෑ'' කියල ඇවිල්ල ආයෙත් චිත්‍රපටිය බලන්න පටන් ගත්ත. ටික වෙලාවක් ගියාට පස්සෙ මෙන්න ආයෙත් කෝල් එකක් එනව මම වෙලාව බැලුව හරියටම 1. 00.  තාත්ත ආයෙත් ගිහින් ෆෝන් එක ඉස්සුවා.  මෙන්න තාත්ත හිනා වෙනව අපි ඇහුව මොකද කියලා.  තාත්ත කිව්ව "ඒ මිනිහ මොනවද ටිකක් කියාගෙන ගියා මට තේරුනේ නෑ'' කියල.  ඊට පස්සෙ අපි චිත්‍රපටිය බලල ඉවරවෙලා නිදාගතා.

Monday 20 September 2010

නංගි ගැන යමක්....

මට පූසෙක් විතරක් නෙමෙයි.  චූටි හුරතල් නංගි කෙනෙකුත් ඉන්නවා.  එයාගේ නම රශ්මි තාරකා.  එයා හරිම ඳඟයි.  විනාඩි 5ක් එක විදිහට ඉන්න බෑ.  ඇවිල්ල ඇනල හරි යනවා.  එයා හැමතිස්සෙම කියන කවියක් තියනවා.  ඒ තමයි මේ,

අක්කගෙ ගව්මක් අඳලා අක්ක බනීද ?
අයියගෙ පොත් ටික ඇදලා අයිය බනීද ?
වත්තේ මල් ටික කඩලා අම්ම බනීද ?
දැන් තාත්ත එන වෙලාව බේර ගනීද ?



එක දවසක් නංගි අක්කගෙ ගව්මක් ඇඳගෙන කැරකි කැරකි ඉන්නකොට මට ඔය කවිය මතක් වුණා.  ඒ පාර තමයි මම ඔය photo එක ගත්තේ.

Friday 3 September 2010

කල කල දේ පල පල දේ

ගිය සතියෙ දවසක අපි අම්මගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා.  එහෙ අයියට නියමෙට සරුංගල් හදන්න පුළුවන්.  එයා සරුංගලයක් හදල ඒක හොඳද බලන්න වෙලට යන කොට  දැක්කා වෙන නිල් පාට සරුංගලයක් අහසෙ පාවෙනවා.  මෙයා ටග් ගාලා සරුංගලේ බාලා "දුවල යං මල්ලි ගෙදර" කියලා මාවත් ඇද ගෙන ගෙදර ගියා.  ඊට පස්සෙ වෙන නුලකින් පොඩි සරුංගලයක් ඇරගෙන  අහසට යැව්වා.  මම ඇහුවා එයාගෙන් ''මොකක්ද කරන්න හදන්නෙ'' කියලා.  එයා කිව්වා නිල් පාට සරුංගලේ කඩන්න කියලා.  මං ඇහුවා ''කොහොමද කඩන්නෙ'' කියලා. එයා කිව්වා ''පොඩි නූල අනිත් නූලෙ ගෑවුනහම සරුංගලය කැඩිල යනව''.  ඒ සරුංගලේ කඩන්න තමයි දැන් හදන්නෙ කියල කිව්ව.  ඊට විනාඩි දෙකක් ගියෙ නෑ.  එයාගෙ සරුංගලේ නූල අත ළඟින්ම කැඩිල ගියා.  මටයි , අක්කටයි හරිම හිනා.  එයාට එවෙලෙ තේරෙන්න අති අනුන්ට වරද්දවන්න ගියොත් තමන්ටමයි වරදින්නෙ කියලා.

Friday 13 August 2010

බාලදක්ෂ සවාරිය

මට ඔයාලට කියන්න බැරි වුනානේ.  මම බාලදක්ෂයෙක්නේ.  සෑම අවුරුද්දකම ලෝකෙ පුරා සිටින සෑම බාලදක්ෂයෙක්ටම තියනවා වැඩ සතියක්.  ඒ සතිය පුරාම තියෙන්නෙ තැන් තැන් වල ඇවිදලා ගෙවල්වලට ගිහිල්ල වැඩ කරන්න.  එහෙම කරහම එගොල්ලො අපට ආධාරයකුත් කරනව.  අපේ ඉස්කෝලෙත් කණ්ඩායම් 5 ක් හිටියා.  අපේ කණ්ඩායමට යන්න තිබුණේ කලවානට.  ඒස්කෝලෙ ඉඳල 22 km විතර දුරක් තියෙන්නේ.  ඉස්සෙල්ලාම අපි බස් එකේ කලවානට ගියා.  ඊට පස්සෙ එහෙ ඉදල පයින් එන්න පටන් ගත්තා.  තියන හැම අතුරු පාරකම ඇවිදල කට්ටියටම මහන්සියි , බඩගිනියි.  ඔන්න පාර අයිනෙ තියන මඩුවකට වෙලා කෑම කන්න පටන් ගත්ත.  බලන කොට බත් මුල් 3 යි තියෙන්නෙ ළමයි 7 දෙනෙක් ඉන්නවා.  මදිනෙ.  ඉතින් බාගෙට කාල ආයෙත් යන්න පටන් ගත්තා.  ඔහොම යනකොට මම තව දෙන්නෙක් එක්ක ගෙදරකට ගියා.  ඒ ගේ ඉස්සරහ හිටිය හිටියා බල්ලෙක්.  අපි ගනන්ගන්නේ නතුව ගියා.  මෙන්න ගේ ඇතුලෙ ඉදන් තව බල්ලො දෙන්නෙක් බුරාගෙන ඇවිල්ල බල්ලො තුන්දෙනාම මගෙ ඇඟට පැන්නනේ එකෙක්මගෙ කකුල කෑව මම කෑගහල බල්ලට පයින් ගහල පිටිපස්සට ආව ඊට පස්සෙ බල්ලොගෙට ගියා.  ඒ ගෙදර ගෑනුකෙනා ඇවිල්ල බල්ලව හුරතල් කරනවා මිසක් අපි ගැන ඇහුවෙවත් නෑ. වේදනාව තිබුනට ලොකු තුවාලයක් නොතිබුණ නිසා ආයෙත් ගමන පටන්ගත්තා.  අමාරුවෙන් හරි ඉතුරු ටිකත් පයින් ගිහින් ගෙදර ආවා.  එනකොට හොඳටම රෑවෙලා.  අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා.

Wednesday 4 August 2010

වැදගත් සත්තු

ලෝකෙ වැදගත් කට්ටිය කියල කිවුවහම මිනිස්සු විතරක් ගන්න බැහැනේ.  සත්තුත් අයිතියි.  උදාහරණයක් හැටියට  ගමු සිංහයා.  බලන්න ඌ ඇවිදින විදිහ.  උගෙ පෙනුම.  හරියට රජෙක් වගේ.  ඒත් සත්තුන්ගේ වැදගත්කම ගැන මගේ සුරතල් පූසා සම්බන්ධ කරගෙන පෙන්වන්න මම කැමතියි.





බලන්න. ඌ වතුර බොන්නෙත් ටැප් එකෙන්.

Monday 2 August 2010

කිරිපැංචා නැවතත්...

ගොඩක් කාලෙකින් blog එකට ඇවිල්ල ලිපියක් දාල යන්න බැරි වුණේ ටික කාලයක් ඉන්ටනෙට් එක නැති වුණ නිසයි. ඒ නවත්තපු සැරේ නැවතිලාම ගියා. දැන් නිවාඩු කාලෙත් ළඟයිනේ.  ඒ හින්ද නවතින්නෙ නැතුව ලියන්න මම බලාපොරොත්තු වෙනවා.  මගෙ blog එක කියවපු කීප දෙනෙක්ම ඉල්ලීමක් කරල තිබුණ මට ආයෙත් ලියන්න කියලා ඒ අයට බොහොම ස්තූතියි...